සියලු ජනතාව වෙත කරන ගෞරවනීය ආමන්ත්රණයයි!
අප රටේ බුද්ධිමතුන් සහ වෘත්තියවේදීන් නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක මහාචාර්ය ලලිත් ද සිල්වා වන මම, ලංකා සංවර්ධන පෙරමුණ හා ජනතා පාර්ලිමේන්තුවේ නව සමූපකාර සංවර්ධන ව්‍යාපාරය සමග එක්ව අප රටේ ගැටලු විසඳීම සඳහා ගෙන එනු ලබන ප්‍රායෝගික වැඩපිළිවෙලෙහි සාරාංශය මෙසේ සනිටුහන් කරමි.
1. අපි මේ රටට ආදරය කරන බුද්ධිමතුන්ගේ නියෝජනයයි. අපි මේ රටේ නව චින්තන විප්ලවයක් ඇති කරන විකල්ප දේශපාලන දහරාවයි. තමන්ට කරගන්නට නොව රටට යමක් කරන්නට සිතන අවංක බුද්ධිමතුන් කැඳවන ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි. අපි ආමන්ත්‍රණය කරන්නේ පවතින කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දීමට අදහස් නොකර සිටින, රට ගොඩනංවන්නට අලුත් දර්ශනයක් සහ වැඩපිළිවෙලක් ඉල්ලා සිටින ජනතාවටයි. එම සැබෑ සිස්ටම් චේන්ජ් නැත්නම් පද්ධති වෙනස අපි රටට ඉදිරිපත් කරමු.
2. මේ රට ගොඩනැගිය යුත්තේ දේශපාලනඥයන් විසින් නොව, රට තුළ බුද්ධිමතුන් සහ සුදුසුකම්ලත්, දක්ෂ, අවංක වෘත්තීය වේදීන් විසිනි. අපි ඒ සඳහා නායකත්වය ගෙන දේශපාලනඥයන් මෙහෙයවමු. ඒ සඳහා ජාතික බුද්ධි මණ්ඩලයක් අපි පිහිටවමු. එය කරන්නේ කෙසේදැයි රටට කියමු.
3. ජනතාවට අපි දෙන පණිවිඩය මෙයයි. ජනතා පරමාධිපත්‍යය ඔබ සතුය. අපි එය තහවුරු කිරීමට නියෝජිත ප්රජාතන්ත්රවාදය වෙනුවට දූෂිතයින් ආපසු කැඳවිය හැකි ඍජු ප්රජාතන්ත්රවාදය හඳුන්වා දෙමු. ජනමතය ක්ෂණිකව විමසිය හැකි තොරතුරු තාක්ෂණ පද්ධතියක් මගින් ජනතා පරමාධිපත්‍යය ඔබට ලබා දෙමු. පක්ෂ පාට නැතිව නිර්පාක්ෂිකව ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක්ව රට හදන දැහැමි මග අපි ඔබට හඳුන්වා දෙමු.
4. මේ සඳහා රටේ මූලික නීතිය හෙවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයයි. ඒ සඳහා නව ජනතා ව්‍යවස්ථාවක් අපි දැනටමත් ජනගත කර ඇත. මෙම ජනාධිපතිවරණය, එම නව ජනතා ව්‍යවස්ථාව සම්මත කරන ජනමත විචාරණයක් බවට අපි පත් කරමු.
5. රටේ බලශක්තිය ඔබ සතුය. ඔබේ බලශක්තිය ඔබ විසින්ම සපුරා ගත හැකි වන පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සකසා මේ රටේ ලක්ෂ පනහක් වන සියලු නිවාස වලට පුනර්ජනනීය බලශක්තිය කිසිදු වියදමකින් තොරව ලබා දෙන ජාතික බලශක්ති සංග්‍රාමය අපි දියත් කරමු. එමගින් ඔබේ බල ශක්තිය කිසිදු පිරිවැයකින් තොරව ඔබ විසින්ම නිෂ්පාදනය කරගන්නා විද්‍යාත්මක ක්‍රමයක් අපි ගෙන එමු. රට පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කර ඉන්ධන භාවිතය සහමුලින්ම නතර කර එයින් ඉතිරි කර ගන්නා මුදල් රටේ ණයබර පියවීම සඳහා යොදාගමු.
6. මේ රටේ පරිසරය ඔබ සතුය. එය සුරැකීමට අපි ඔබට සහතික වෙමු. ජලය, සුළඟ, හිරු එළිය, සහ පිරිසිදු වාතාශ්‍රය මුදලට යට නොකොට අපි ඔබට ලැබෙන්නට සලස්වමු. රටේ ගලා බසින මහා ගංගාවල ජලය නිසි කළමනාකරණයට ලක්කර රට තුළ සියලු ජනතාවට පානීය ජලය සහ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අවශ්‍ය ජලය වසර පුරාම එක ලෙස ලැබෙන ඉංජිනේරුමය ව්‍යාපෘති අපි බල බලගන්වමු.
7. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම සඳහා ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සහ විද්වතුන් අපි කැඳවමු. ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ඒකරාශී කරමු. ඒවා මෙරට ගොඩගන්නට රටේ ධීවර සහ ඛනිජ සම්පත් වැනි අපනයන ආර්ථිකයන් ගොඩනැගීම සඳහා යොදා ගනිමු. ඒ සඳහා අපි බිහිකර ඇති ලංකා සංවර්ධන පෙරමුණ නම් ජනතාව සතු ගරන්ටී ලිමිටඩ් ආයතනය බල ගන්වමු. එම ආයතනයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස අපි මෙරට සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
8. කෘෂි නිෂ්පාදන ආර්ථිකය සඳහා හරිතාගාර බිහිකිරීම තුළින් රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන එසේම අතරමැදියන් විසින් ගොවියන් සූරා කන ක්‍රමවේද නැති කරන තොරතුරු තාක්ෂණ පද්ධතීන් අපි රට තුළ ස්ථාපිත කර කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය වැඩිදියුණු කරමු.
9. දේශපාලකයන් විසින් අප රට ණය ආර්ථිකය නම් අගාධයට තල්ලු කර දමා ඇත. අපි IMF විසඳුම් වලින් ඔබ්බට ගොස් රට ණය බරින් නිදහස් කර ගන්නා මහා පරිමාණ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන ව්‍යාපෘති, දේශපාලනීකරණයෙන් තොරව ක්‍රියාත්මක කරමු.
10. අපගේ නව ව්‍යවස්ථාව තුළින්, හඳුනාගත් ක්ෂේත්‍ර විසි දෙකක් තුළ බිහිකරන බුද්ධිමණ්ඩල හරහා කරන දේශපාලනීකරණය නොවූ පත්වීම් මගින් පක්ෂ පාට දේශපාලනයකින් තොරව පාර්ලිමේන්තුව තුළ සෙනෙට් සභාව හා ජනතා සභාව අපි පිහිටවමු. ජාතික බුද්ධිමණ්ඩලයක් හරහා ව්‍යවස්ථාදායක සභාව, සෙනෙට් සභාව සහ ජනාධිපතිවරයාගේ ලේකම් මණ්ඩලය පත් කිරීම වැනි විසඳුම් තුළින් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සහමුලින්ම වෙන් කොට, ස්වාධීනකොට, පිරික්සීම සහ තුලනය මනා ලෙස ක්‍රියාත්මක වන නව ජනතා චින්තන විප්ලවය සහ දේශපාලන සංස්කෘතිය අපි මේ රටේ බිහි කරමු. මේ සඳහා ප්‍රබල ලෙස තොරතුරු තාක්ෂණ පද්ධතින් අපි උපයෝගී කර ගනිමු.
11. දේශපාලන පක්ෂ අපේක්ෂකත්වයන් නැති සැබෑ ජනතා නායකයින්ගෙන් සැදුම්ලත් ජන සභා, ප්‍රාදේශීය සභා සහ දිස්ත්‍රික් සභා අපි පිහිටවමු. ජන සභා තුළින් බිහිවන ජනතා පාර්ලිමේන්තුවේ නව සමූපකාර සංවිධාන ජාලය මගින් බිහිකරන ග්‍රාමීය ව්‍යවසායකත්ව සංවර්ධන වැඩපිළිවෙළ තුළින් ගමේ දුප්පත්කම නැති කිරීමට විසඳුම් සොයමු.
12. ව්‍යවසායකයින්ට සැබෑ ලෙස අත දෙන නව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව අපි පිහිටවමු. මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්රාග්ධනය යොමුකොට අප රටේ ව්‍යවසායකයන් ඇගයීමට ලක්කර, නව නිර්මාණ සහ නිෂ්පාදන වර්ධනය කර, ජාත්‍යන්තර වෙළඳපළට ගෙනයන සුවිශේෂී වැඩපිළිවෙළක් නිසි තොරතුරු තාක්ෂණ පද්ධතීන් තුළින් සිදු කරමු.
13. අපි, අප රටේ බුද්ධිය සහ අධ්‍යාපනය අපනයනය කරමු. විවිධ වූ ක්ෂේත්‍ර තුළ අප රටේ වෘත්තීයවේදීන්ගේ පරිනත දැනුම මෙරටින් ඔබට ගෙනයන ක්‍රමවේද සකසමු. උදාහරණ ලෙස ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්රවල අප රටේ විශිෂ්ටයින්ට විවෘතව ඇති ලෝක වෙළඳපළ අපි විවෘත කරමු.
14. හඳුනාගත් ක්ෂේත්රවල ප්‍රායෝගික මානව ප්රාග්ධනය වර්ධනය වන ලෙස රටේ අධ්‍යාපනයේ දිශානතිය අපි වෙනස් කරමු. උගන්වනවා වෙනුවට ඉගෙන ගන්නවා යන සංකල්පය සමග තමන්ගේ හැකියාව සහ ලැදියාව මත පිහිටා රිසි දෙයක් ස්වශක්තියෙන් ඉගෙන ගැනීමට දරුවන්ට අවශ්‍ය කරන අන්තර්ජාල යටිතල පහසුකම් සහ ගෝලීය නිරාවරණය දරුවන්ට ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙමු. ඒ තුළින් ශ්‍රී ලාංකික බුද්ධිමය මානව ප්රාග්ධනය ලොව ඉහළම තලයකට ගෙන යමු.
15. රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරමු. මඩ නා නොගත් සුහුරු ගොවියන් බිහිකරන නව කෘෂිකාර්මික තාක්ෂණය රටට හඳුන්වාදීම තුළින් කෘෂිකාර්මික චින්තන විප්ලවයක් රට තුළ දියත් කරමු. සෑම ග්‍රාම රාජ්‍යයක් තුළම පිහිටුවන හරිතාගාර තුළ නිපැයුම් මෙරට සහ පිටරට වඩාත් සැලසුම් කල වෙළඳපොළක් කරා ගෙන යාම තුළින් ගැමි ආර්ථිකය නඟා සිටවමු. අසාධාරණ වූ අතරමැදි යාන්ත්‍රණය තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය මගින් බිඳ දැමීමට කටයුතු කරමු. ඒ තුළින් තමන්ගේ නිෂ්පාදන සඳහා වඩාත් සාධාරණ වූ සහතික මිලක් ගොවීන්ට ලබාදෙමු.
16. සුවපත් ගමක් බිහි කරන අරමුණින් බටහිර, ආයුර්වේද හෙළ සහ දේශීය වෛද්‍ය ක්‍රම අපි එක ලෙස පෝෂණය කරමු. අප රටේ දිස්ත්‍රික් සහ ග්‍රාමීය රෝහල්වල තත්ත්වය ඉහළ නංවන අතර සියලු ප්‍රාදේශීය ලේකම් වසමක් තුළම හෙළ වෙද මැදුරු ස්ථාපිත කරමු.
ජනතාවට ජය වේවා!
ජනතාව සුවපත් වේවා!
සැපවත් පොහොසත් ගමක්; නැණවත් රටක්!
ජනාධිපති අපේක්ෂක
මහාචාර්ය ලලිත් ද සිල්වා